ධම්මික සමරතුංග FB එකේ පල කල ලිපියක් ඇසුරිනි
සයිකල් ශූරයා…
මේක තවත් අවුටින් එකක සිදුවුණු සත්‍ය සිදුවීමක්. මෙකට මම සහභාගි වුනේ නැතත් අපේ ජානක කථාව හරි අපූරුවට අපිට කිව්ව විදියටම මම ලියන්නම්…
අපේ නාරද ඉස්සර ‘රස රිසි ගී’ කරන කාලේ Programme එක ඇතුලේ වැඩියෙන්ම කලේ අපේ යාළුවන්ට මඩ ගහන එක. සමහර වෙලාවට නාරදට වෙච්ච වැඩක් වුනත් කාගේ හරි අපේ එක්කෙනෙක්ගේ ඇෙග් ගහලා අපිට සිද්ධවෙච්ච දෙයක් විදියට Programme එක ඇතුලේ කියනවා.
හැබැයි මේ කථාව නම් ඇත්තටම නාරදට වෙච්ච දෙයක්. කාගේවත් ඇගේ ගහන්න බැරි නිසා මේක රස රිසි ගී වල කියන්න බැරිවුණා. මේක දන්නේ යාළුවෝ කට්ටිය විතරයි…
ඔන්න ඉතිං දවසක් කට්ටිය නිකං ඉන්න වෙලාවක කොහේ හරි දවසක අවුටින් එකක් යන්න තීරණය කරලා ඔය අවිස්සාවේල්ල ඇහැලියගොඩ පැත්තේ දිය ඇල්ලක නාන්න කියලා ගියා. හරිම ලස්සන තැනක් වටපිට ගම්වල උදවියත් ඇල්ලට නාන්න එනවා. නාරදත් ඉතිං ජනප්‍රිය නිසා වට පිට ඉන්න හැමෝටම පනාව දාගෙනම නාන තැනට ආවා.
ටික වෙලාවක් කට්ටිය කයිවාරු ගගහා ඉදලා එහෙනං නාන්න පටන් ගමු කියලා නාන්න ඇදුම් මාරු කරන්න පටන් ගත්තා. නාරද එදා නාන්න ඇන්දේ… අර බයිසිකල් රේස් පදින අය අදින ජාතියේ Full Tite short එකක්. මේක ඇඳලා ඉන්න නාරදව දැක්කම අපේ ජානකගේ කටත් ඇවිස්සුනා. “බලපං බං මූගේ ඇගේ හැටි… හරියට එහෙං මෙහෙං මිරිකපු දත් බෙහෙත් ටියුබ් එකක් වගේ” කියලා කිව්වා. (මම හිතන විදියට ඊට පස්සේ නාරද ජිම් එකට එහෙම ගිහිල්ලා හොදට ඇඟ හදා ගත්තා)
ඔන්න ඔය අතරේ ගමේ ටිකක් වයසක අංකල්ලා සෙට් එකක් නාන්න ආවා. අංකල්ලා ටික නාරදව අඳුර ගත්තා. නාරදව ජනප්‍රිය පොරක් කියලා අඳුර ගත්තට… කවුද මොනවා කරන කෙනෙක්ද කියලා අංකල්ලා සෙටි එකට එච්චර මතකයක් නැතුව කුටු කුටු ගාන්න පටන් ගත්තා. මේ අතර එක්කෙනෙක් නාරදත් එක්ක කථාවට සෙට් වෙන්න ආවා. “කොහොමද මහත්තයා… හොඳට දැකලා පුරුදු මූණක්…ජනප්‍රිය පොරක්…සමාවෙන්න මහත්තයෝ…අපිට හරියට මතකෙට එන්නේ නැති හිංදයි අහන්නෙ…මහත්තයා නේද අර”…… කියනකොටම ජානක මැදට පැන්නා….
“ඇයි දන්නේ නැද්ද අංකල් මෙයානේ අර… ලංකා සවාරිය, මහපොල සවාරිය, ලක් පොහොර සවාරිය, ගම් උදාව සවාරිය විතරක් නෙවෙයි ලංකාවේ තියෙන ඔනෙම බයිසිකල් රේස් එකක පළවෙනියා වෙන්නේ… පිටරට රේස් පැදලත් සෑහෙන්න දිනලා තියෙනවා” කියලා වැඩේ පත්තු කරලා තියලා හිමිහිට අයින් වුනා…
“අප්පට සිරි ගජ… මේ අර මහත්තයානේ”… අංකල් අනිත් හැමෝටම ඇහෙන්න කිව්වා…
“මහත්තයට කියන්න මහත්තයෝ… ගියපාර ඔය රේස් එක යනකොට මමත් මහත්තයට වතුර බාල්දියක් ගැහුවා… අර ගුණසෝමයා මහත්තයට ආණමාලු ගෙඩියකුත් දුන්නා… මතකද මහත්තයෝ” කියලා ඇහුවා. නාරද ඉතිං මොනවා කියන්නද… “ඔව්… ඔව්… මතකයි කියලා කිව්වා” විතරක් නෙවෙයි ඒ දෙන්නට ස්තූතිත් කළා. ඊට පස්සේ අංකල්ලා ටික නාරදව වට කරගෙන මොන මොනවදෝ අහනවා. පදින බයිසිකලේ ජාතියයි, කොහොමද ඔච්චර දුර මහන්සියක් නැතුව පදින්නේ කියලයි, කොහොමද ඔච්චර ලස්සන ඇඟක් හදා ගත්තේ කියලයි, තව… කන බොන ජාති, පවුල් විස්තර… විතරක් නෙවෙයි නාලා ඉවර වුනාම ඇදගෙන ඉන්න කලිසමත් දීලා යන්න කියලා එක අංකල් කෙනෙක් ඉල්ලුවා…
කොහොම හරි ෂේප් වෙලා අංකල්ලා සෙට් එකෙන් බේරිලා නාරද වතුරට පැන්නා. පොඩ්ඩක් ඈතට වෙලා අංකල්ලා සෙට් එක නාලා යනකම්වත් නාරද ගොඩට නං ආවේ නෑ…
තවමත් ඒ අංකල්ලා හිතාගෙන ඉන්නේ එදා ඒ අයට හම්බවුනේ ජනප්‍රිය සයිකල් ශූරයෙක් කියලයි…
සනී ද මෑන්
Kapila Poogalaarachchi, Saneera Casiyas කියන්නේ YATV Music Department එක අරක්ගත්ත යක්ෂයෝ දෙන්නා කිව්වට වරදක් නෑ… ඒ තරමටම මේ දෙන්නා Music වලට වගේම YATV එකටත් බැඳිලයි හිටියේ. YATV කාටත් මේයාලා නැතුවම බැරි දෙන්නෙක් උනා. YATV Programmes වලට සෑහෙන වටිනාකමක් Music වලින් මේ දෙන්නා ලබාදුන්නා. සුපිරි වැඩකරුවෝ දෙන්නෙක්…
මේ සිද්ධිය උනේ සනිර YATV එකට ආපු අලුත. සනිර YATV වැඩට ආවට මොකද මේකේ ලොක්කා කවුද… ලොක්කගේ නම මොකක්ද… කළුද, සුදුද කියලවත් මෙලෝ දෙයක් දන්නේ නෑ. ඒ තරමටම මිනිහා Music ක්ම තමයි… බැරි වෙලාවත් කපිල දවසක් හරි නිවාඩු ගියොත් සනිර ඉන්නේ මාර බයකින්. වැඩට ආපු අලුත විතරක් නෙවෙයි මිනිහා YATV එකෙන් අයින් වෙනකංම ඔය බය සනිරට තිබ්බා. Producers ලා මොන වගේ Music ඉල්ලයිද..? කරලා දෙන Music එක Programme එකට හරියයිද..? ඉංග්‍රීසි කථා කරන එවුං ඇවිල්ලා මොන මොන ලෙඩ දායිද..? කියන ඔය බය කපිල නැති දවසට මිනිහගේ හිතේ දවසම හොල්මං කළා. කොටින්ම එදාට සනිර Music Room එකෙන් එළියටවත් බහින්නේ නෑ… ඒ වගේම කපිල නැති දවසට Music Room එකට Calls එනවටත් සනිර කැමති නෑ. ඒ දවසට කොච්චර Music Room එකට Call කළත් Rings යනවා මිසක් Answering නෑ… සනිර Phone එකේ වයර් එක ගලවනවා. බය කොහොමද කියනවනං කපිල දවසක් හරි නිවාඩු යනවට ආයතනයේ ලොක්කට වඩා සනිර අකමැතිවයි හිටියේ. ඉතිං හැම නිවාඩුවකටම කළින් කපිලට අවශ්‍ය නිවාඩුවේ කරුණු, ලොක්කට කෙසේ වෙතත් සනිරට කියන්න කපිලට සිද්ධවුනා. කපිලට මේක මාර වදයක් උනා. සමහර දවස්වල සනිරට නොකියම නිවාඩු යන්න කපිල තීරණය කළා. එදාට ඉතිං කවුරු හරි Music එකක් ඉල්ලුවොත් ඒ Music එක, Producer මොන විදියට ඉල්ලුවත් සනිරගෙන් හම්බවෙන Music එකේ බය කියන එක යන්තං හරි ගෑවිලා තියෙනවා කියන එක YATV හැමෝම දන්න කාරණයක්.
ඔන්න එක දවසක් කපිල වැඩට ආවත්, එදා හදිසියේ YATV එකෙන් පැයකට විතර එළියට යන්න අවශ්‍ය උනා. කපිල මේක සනිරට කිව්වා… සනිර ඉතිං වෙනදා වගේම බය උනා. මොනා උනත් ඉතිං යන්නත් ඕනි නිසා, කපිල පැයෙන් ඉක්මනට එන්නං කියලා ගියා. ඔන්න ඔය අතරේ YATV ලොක්කා කපිලව මොකක් හරි වැඩකට හොයන්න පටන්ගත්තා. Music Room එකට කෝල් එකක් ගත්තා (එදා සනිරට Phone එකේ වයර් එක ගලවන්න අමතක වෙලා) සනිරට Phone එකට Answer කරන්න සිද්ධවුනා.
සනිර – හලෝ…
ලොක්කා – කපිල…
සනිර – කපිල පොඩ්ඩක් එළියට ගියා…
ලොක්කා – ආවම… මට කථා කරන්න කියන්න…
සනිර – කවුද කථා කරන්නේ…
ලොක්කා – හිල්මි… කියලා Phone එක තිබ්බා…
සනිරත් ඉතිං Phone එක තියලා වයර් එකත් ගලවලා. Key Board එකේ Music එකක් කර කර ඉන්නකොට පැයකින් පස්සේ ඔන්න කපිල ආවා…
සනිර – අන්න අරූ ඔයාට කථා කළා…
කපිල – කවුද…?
සනිර – අරූ… අරූ… හිල්මි… හිල්මි… සමහර විට Melody දාගන්නද දන්නේ නෑ… ආව ගමන් Call කරන්න කිව්වා…
කපිලට වැඩේ තේරුණා… දඩි බිඩි ගාලා ලොක්කව හම්බවෙන්න ගියා…
සනිරට ගානක්වත් නෑ… ඔහේ Music එකක් හදනවා. ඔන්න එය අතරේ කපිල ලොක්කව හම්බවෙලා ආයෙත් Music Room එකට ආවා.
සනිර – මිනිහා මෙහාටත් ආවද ඔයාව හම්බවෙන්න..? මොකක්ද හදිසිය… අලුත් CD එකක්වත් කරන්න යනවද..? ඔයා මිනිහගේ සිංදු කීයකට Melody දානවද..? ඔන්න ඔය වගේ ප්‍රශ්ණ ගානක් කපිලගෙන් ඇහුවා…
කපිල – යකෝ හිල්මි කියන්නේ අපේ ලොක්කා…
කියනකොටම සනිරට දවල් තරු පෙනුනා… උගුර කට වේලිලා ගියා…
සනිර – අප්පට සිරි කපිල අයියේ… මම හිතුවේ අර සිංදු කියන ‘ලක්ෂමන් හිල්මි’ කියලනේ… දැන් මොකද කරන්නේ..?
කපිල – කරන්න දෙයක් නෑ… උඹ මොනාද එයාට කිව්වේ..?
සනිර – මම මුකුත් වැරද්දක් කරේ නෑ… ඕකනේ කියන්නේ නිවාඩු ගන්න එපා කියලා… වැඩට එන දවසටත් එහේ මෙහේ රවුං ගහනවා… මම මෙතන පරිප්පු කන්න ඕනි…
සනිර කපිලට බැනගෙන බැනගෙන ගියා.
ඊට පස්සේ සනිර බය වෙච්ච තරම කොච්චරද කියනවනං සනිර YATV එකෙන් අයින් වෙනකංම ලොක්කා ඉන්න ලඟ පාතකවත් ඉන්නත් නෑ ලොක්කා ඉන්න අහලකින් යන්නෙත් නෑ…