නීතිය වන වේ – වනය එලි වේ

අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි කුඹුක්කන සංරක්ෂිත වනාන්තරයේ අක්කර 200 ක් පමණ නීති විරෝධී ව එළිපෙහෙළි කර බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහ පරිමාණයෙන් වගා බිම් සැකසීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. පුද්ගලයින් තිස් දෙනෙකු පමණ සංරක්ෂිත වනාන්තරයට අනවසරයෙන් ඇතුළු වී වන සංරක්ෂණ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරමින් වගා බිම් සැකසීමේ නිරත වේ. පොතුවිල් මහේස්ත්‍රාත් එම්. අයි. එම්. වහබ්දීන් මහතාගේ හා ප්‍රදේශයේ නීතීඥවරුන් කිහිපදෙනෙකුගේ සහයෝගය මත පාරිසරික නීති අභියෝගයට ලක් කරමින් මෙම නීති විරෝධී ක්‍රියා සිදු කෙරෙමින් පැවතීම කනගාටුවට කරුණකි.

කුඹුක්කන සංරක්ෂිත වනාන්තරය හැඩ ඔයේ හා කුඹුක්කන් ඔයේ ප්‍රධාන ජල පෝෂකයකි. කුඩුම්බ්ගල – පානම අභය භූමිය, යාල, කුමන සහ ලාහුගල – කිතුලාන ජාතික වනෝද්‍යාන හා සම්බන්ධ ව ඇති කුඹුක්කන වනාන්තරය ඈත අතීතයේ දී ආරක්ෂිත තත්ත්වයට පත් කළ සුවිශේෂී වනාන්තරයකි.

1907 අංක 16 දරණ කැළෑ ආඥා පනත යටතේ 1927 අප්‍රේල් 8 වන දින හෙක්ටයාර 37635 ක් පමණ වන වනාන්තර ප්‍රදේශයක් ආවරණය වන පරිදි කුඹුක්කන වන රක්ෂිතය පළමු ව ප්‍රකාශයට පත් කර තිබුණි. 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට කැළෑ ආඥා පනත වන සංරක්ෂණ ආඥා පනත නමින් සංශෝධනය කිරීමෙන් අනතුරු ව පනතේ 5 වන වගන්තියට අනුව 2009 පෙබරවාරි 17 වන දින අංක 1589/09 දරණ ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 38274 ක් වන කුඹුක්කන සංරක්ෂිත වනාන්තරය ප්‍රකාශයට පත් කෙරිණ. එසේ ප්‍රකාශයට පත් කිරීමේ දී කුඹුක්කන වන රක්ෂිතය පැවති සමයේ දී එළිපෙහෙළි කර තිබූ ඉඩම් කිහිපයක් ඉවත් කර අලූතින් වනාන්තර ප්‍රදේශ එක් කිරීම සිදු කර ඇත.

මෙම සංරක්ෂිත වනාන්තරයේ ලාහුගල ප්‍රාදේශීයය ලේකම් කොට්ඨාශයට අයත් පානම බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි රදැල්ල ප්‍රදේශයේ වනාන්තර එළිපෙහෙළි කර, පිවිසුම් මාර්ග සකස් කර මින් යන්ත‍්‍රසූත‍්‍ර භාවිතා කර මහ පරිමාණයෙන් වගා බිම් සැකැසීම සිදු කෙරේ. සංවිධානාත්මක ව්‍යාපාරික කණ්ඩායමක් මෙම ක්‍රියාවේ නිරත ව සිටින අතර ඔවුන් විසින් අධිකරණය හා නීතීඥයන් ඔවුන්ට අවශ්‍ය පරිදි හසුරුවාගනිමින් මෙම නීති විරෝධී ක්‍රියා වලට සහයෝගය ලබා ගන්නා අතර වන සංරක්ෂණ නිලධාරීන්ට බාධා කිරීම ද සිදු කෙරෙමින් පවතී. යහපාලනය ස්ථාපිත කිරීමට උත්සාහ දරණ රටක නීතියේ ආධිපත්‍යය පොතුවිල් මහේස්ත‍්‍රාත්තුමන් විසින් ම මේ ආකාරයෙන් අභියෝගයට ලක් කිරීමෙන් සිදු වන්නේ රටේ නීතිය පිළිබඳව පොදු ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටීම ය. එපමණක් නොව නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් අසරණ වීම ය.

වන සංරක්ෂණ ආඥා පනතේ 6 වන වගන්තියට අනුව සංරක්ෂිත වනාන්තරයකට අනවසරයෙන් ඇතුළු වීම, ශාක විනාශ කිරීම, වගා බිම් සැකසීම, මාර්ග සකස් කිරීම නීති විරෝධී ක්‍රියාවන් වේ. එවන් ක්‍රියාවකට වරදකරු වන තැනැත්තෙකු වසර හතක් නොයික්මවන කාලයක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් විසි දහසත් රුපියල් දෙලක්ෂයත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. එපමණක් නොව සංරක්ෂිත වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන පුද්ගලයකු ද මෙම දඩුවම් වලට ම යටත් කළ හැකි ය. ඒ අනුව කුඹුක්කන සංරක්ෂිත වනාන්තරයේ සිදු කරන නීති විරෝධී ක්‍රියා වලට නීතිය ක්‍රි යාත්මක කිරීමට බාධා එල්ල කරණ අධිකරණ හා නීති ක්ෂේත‍්‍ර වල පුද්ගලයින් ද වැරදිකරුවන් වෙති.

කුඹුක්කන සංරක්ෂිත වනාන්තරය වටා පිහිටි ලාහුගල, පොතුවිල් හා කරන්කෝව යන ප්‍රදේශ වල මහ පරිමාණයෙන් කුඹුරු ගොවිතැන් සිදු කෙරේ. නමුත් මේ ප්‍රදේශ වල අලි – මිනිස් ගැටුම එසේ නොමැතිනම් වගා බිම් වලට අලින්ගෙන් සිදු වන බලපෑම් ඉතා ම අවම මට්ටමක පවතී. ඊට හේතුව කුඹුක්කන සංරක්ෂිත වනාන්තරය සහ ඒ අවට රක්ෂිත වනාන්තර පද්ධතිය එකිනෙක හා සම්බන්ධ ව පැවතීමෙන් අලි – ඇතුන්ට ඉතා හොඳ වාසස්ථාන ගොඩනැංවී තිබීමයි. නමුත් සංරක්ෂිත වනාන්තරය තුළ මහ පරිමාණයෙන් වගා බිම් ස්ථාපිත කිරීම හේතුවෙන් අලි – ඇතුන්ට බාධා වීමෙන් හා ගැවසුම් ප්‍රදේශ සීමා වීමෙන් අලි ගම් වැදීම වර්ධනය විය හැකි ය. මේ නිසා මෙම ප්‍රදේශ වල අලූතින් අලි – මිනිස් ගැටුම් ආරම්භ වීම පමණක් නොව ලාහුගල හා පොතුවිල් ප්‍රදේශ වල ගොවි ජනතාවට ගැටලූ රැුසකට මුහුණ දීමට මේ නිසා සිදු වනු ඇත.

මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’’ මැයෙන් ජනාධිපතිතුමන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සොබාදහම රැුක ගැනීම නම් කොටසේ සඳහන් වන්නේ වන විනාශයන් වැළැක්වීම සඳහා තරාතිරම නොබලා සියලූ පරිසර නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරණ බවත් රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කරණු ලැබූ භූමි භාග වල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරණ බවත් ය. මේ සියල්ල ප්‍රතිපත්ති ප්‍රකාශන වලට පමණක් සීමා වී ඇති බව අද වන විට ඉතා ම හොඳින් තහවුරු වී ඇත. ඈත අතීතයේ සිට ආරක්ෂා කළ සුවිශේෂී වනාන්තර පද්ධතියක් වන කුඹුක්කන සංරක්ෂිත වනාන්තරයේ ඉඩම් සංවිධානාත්මක පිරිසක් විසින් විනාශ කරද්දී ඊට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට බාධා කරද්දී පරිසර අමාත්‍යවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් මුනිවත රැුකීම කනගාටුවට කරුණකි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ මෙරට වනාන්තර ආවරණය 32% දක්වා ඉහළට ගෙන ඒමට කටයුතු කරණ බව ය. නමුත් ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති අතර මේ වන විට සිදු වන්නේ කුඹුක්කන සංරක්ෂිත වනාන්තරය වැනි ආරක්ෂිත ප්‍රදේශ සීඝ්‍රයෙන් විනාශ කිරීමකි. මේ හරහා දිනෙන් දින ම ලංකාවේ වනාන්තර ආවරණය සීග‍්‍රයෙන් පහළ යමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට වියළි කලාපය පුරා උග්‍ර ජල හිඟයක් වර්ධනය වෙමින් කෘෂිකර්මාන්තය දරුණු ලෙස අගාධයට යමින් පවතී.

නීල හරිත අයවැයක් ඉදිරිපත් කරණ ආණ්ඩුව හුදු වචන හරබයන් පමණක් සිදු කරමින් රටේ සමස්ත ස්වාභාවික සම්පත් සීඝ්‍රයෙන් වනසා දමමින් සිටී. 2015 සැප්තැම්බර් මස 25 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කර ගත් තිරසර සංවර්ධන ඉලක්ක දාහත සැපිරීම වෙනුවෙන් කටයුතු කිරීමට මහා මාධ්‍ය සංදර්ශන පවත්වන ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව එහි 15 වන ඉලක්කය වන පරිසර පද්ධති සුරක්ෂිත කිරීම, වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය කිරීම හා ජෛව විවිධත්ව විනාශය නැවැත්වීමට කටයුතු කිරීම වෙනුවට සිදු කරණුයේ ආරක්ෂිත වනාන්තර වැනසීමට ඉඩ දී බලා සිටීම ය. මේ නිසා ජනාධිපතිතුමන් පරිසර ඇමති වීම ම පරිසරය ආරක්ෂා කිරීමට හේතු නොවන බව පැහැදිලි ය.

මේ නිසා අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වත්මන් හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ආරක්ෂා කර ඇති ස්වාභාවික පරිසර පද්ධති සංවර්ධනයේ නාමයෙන් හෝ ජනාවාස පිහිටු වීම හෝ වාණිජ වගාවන් සඳහා හෝ ආයෝජන සඳහා හෝ භාවිතයට නොගන්නා ලෙස ය. ඒ සියල්ල වසර ගණනාවක් තිස්සේ විශාල ධනස්කන්ධයක් වැය කරමින් ජල පෝෂක ලෙස, අලි – ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාවගේ වාසස්ථාන ලෙස, ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වීම සඳහා මෙන් ම ස්වාභාවික සෞන්දර්යය ආරක්ෂා කර ගැනීම සඳහා රැුක බලා ගෙන තිබේ. එම ස්වාභාවික පරිසර පද්ධති අද දවසේ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවන් වෙනුවෙන් විනාශ කිරීමෙන් සිදු වන්නේ මේ උරුමයන් සියල්ල රටට අහිමි වීම ය. ධරණීය සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින්, නීල හරිත ආර්ථිකයක් ගොඩ නගා ගැනීමට සැබෑ ලෙස ම ආණ්ඩුවක් ලෙස යොමු වන්නේ නම් ආරක්ෂිත පරිසර පද්ධති සුරක්ෂිත කර ගැනීමට තරාතිරම නොබලා නීතිය එකලෙස ක්‍රියාත්මක කළ යුතු ව ඇත. එසේ නොමැති වුවහොත් කුඹුක්කන සංරක්ෂිත වනයත් එම වනයේ ජල පෝෂක මත ගොඩනැංවුනු කෘෂිකර්මාන්තයත් අලි – ඇතුන් ඇතුළු ජෛව සම්පත් සියල්ලත් කෙටි කලකින් ම විනාශ වී යනු ඇත.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )